ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව තෙවන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

2024 නොවැම්බර් 23

යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික සොයාගැනීම් පිළිබඳව ජා.මූ. අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායම්වල ප්රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන මාධ් නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්යමණ්ඩලයේ වන අතර එමගින් ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්යයෙන් නියෝජනය නොවේ. මෙම මෙහෙයුමේ මූලික සොයාගැනීම් මත පදනම්ව, කාර්යමණ්ඩලය විසින් කළමනාකාරීත්ව අනුමැතියට යටත්ව, සාකච්ඡා සහ තීරණ ගැනීම සඳහා ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාවක් සකස් කරනු ඇත.
  • ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු සහ ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 333ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.
  • වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම, විශ්වසනීයත්වය වර්ධනයකර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. මේ දක්වා වැඩසටහන යටතේ අත් පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා පරිදි යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
  • ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය (i) බලධාරීන් විසින් පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ (ii) මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම, බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍යන දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ප්‍රගතියෙහි ප්‍රමාණවත්බව ඇගයීම යන කරුණු මත පදනම්ව සමාලෝචනය සම්පූර්ණ කිරීම පිළිබඳව සලකා බලනු ඇත.

කොළඹ, ශ්‍රී ලංකාව: ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2024 නොවැම්බර් 17 සිට 23 දක්වා කොළඹ සංචාරයක යෙදුණි. කොළඹදී පැවති සාධනීය සාකච්ඡාවලින් අනතුරුව, බෲවර් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සියරිනා ස්වර්යඩ්සෙන්කා මහත්මිය විසින් පහත ප්‍රකාශය නිකුත් කරන ලදී:

“වසර හතරක විස්තීර්ණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනයේ දී ජා.මූ. අරමුදලෙහි කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹුණු බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ජා.මූ. අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) බිලියන 2.3ක් (එ.ජ. ඩොලර් බිලියන 3ක් පමණ) 2023 මාර්තු 20 දින අනුමත කරන ලදී.

“පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ඉදිරි කාල සීමාව තුල ජා.මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත: (i) බලධාරීන් විසින් වැඩසටහනේ අරමුණුවලට අනුකූල වන පරිදි 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම; සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නියමිත වේලාවට සහ වැඩසටහනේ ණය ඉලක්කයට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ලබා දීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද  යන්න පිළිබඳව අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.

“විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක් (එ.ජ. ඩොලර් මිලියන 333ක් පමණ) සඳහා ප්‍රවේශය ලැබෙනු ඇති අතර, ඒ අනුව මෙම පහසුකම යටතේ ජා.මූ. අරමුදල විසින් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදුන් සමස්ත අරමුදල් ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 1,016ක් (එ.ජ. ඩොලර් මිලියන 1,333ක් පමණ) වනු ඇත.

“විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතියි. 2024 ජූනි මාසයෙන් අවසන් වන කාර්තු හතර තුළ ආර්ථිකය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව සාමාන්‍යයක් ලෙස සියයට 4කින් වර්ධනය විය. ඉහළ සංඛ්‍යාත දර්ශක මගින් ආර්ථිකයේ සියලු අංශයන්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි. තුන්වන කාර්තුව තුළ සාමාන්‍යයක් ලෙස මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය සියයට 0.8කට සහ සියයට 3.8කට සීමා වී පැවතුණි. මහ බැංකුව විසින් සිදු කරන ලද සැලකිය යුතු ලෙස ඉහළ විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 ඔක්තෝබර් මාසය අවසානයේ දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.4ක් දක්වා වැඩි විය. සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත.

“සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2024 ජූනි මස අවසානයට මෙන්ම සැප්තැම්බර් මස අවසානයට අදාළ සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමග වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් විය. 2024 ඔක්තෝබර් මස අවසානයට පෙර සිදු කිරීමට නියමිතව පැවැති බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු නිසි කලට සම්පූර්ණ කර හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත; මැතිවරණ ක්‍රියාවලිය හේතුවෙන් ඇතැම් මිණුම් දඬු සපුරා ගැනීම ප්‍රමාද විය.

“වැඩසටහනේ අරමුණුවලට නව රජයේ ඇති කැපවීම අවිනිශ්චිතතාවය අඩු කර ඇති අතර ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. වැඩසටහන තුලින් ලබාගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා ලෙස යථා තත්ත්වයට පත්වීමක් හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධන මාවතක් කරා ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව තිරසාරව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. අර්බුදය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයට බලපෑ බැවින්, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ නිසි ලෙස බෙදා හැරීම සහතික කිරීම වැදගත් වනු ඇත.

“සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය නැවත ලඟාකර ගැනීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වන අතර, වගකීම් සහගත රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2025 වසරේ අයවැය සකස් කිරීම සඳහා අඛණ්ඩ රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වේ. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් අර්බුදයෙන් ඇතිවන අපහසුතා බදු ගෙවන්නන්ගේ එයට දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වේ. නව බදු නිදහස් කිරීම් වළක්වාගැනීම මගින් රාජ්‍ය ආදායම් අහිමි වීම් සහ දූෂණ අවදානම් අවම කිරීමට සහ සමාජ වියදම් ඇතුළු වියදම් සඳහා සඳහා අවශ්‍ය රාජ්‍ය මුල්‍ය ආරක්ෂණ ගොඩනංවා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය වීමට උපකාරී වනු ඇත. ඉන්ධන සහ විදුලි මිල ගණන් පිරිවැය ප්‍රතිසාධන මට්ටමක පවත්වා ගැනීම සහ දිගු කාලයක් පුරා පවත්නා ණය නිරාකරණය කිරීම රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.

“මෙම දුෂ්කර අවස්ථාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇත. සමාජ වියදම් සඳහා වැඩසටහනේ දක්වා ඇති අවම වියදම් ඉලක්කය සපුරාලීමට දරන උත්සාහයන් සීඝ්‍ර කිරීම සහ විශේෂයෙන්ම ඇස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ජාල ඉලක්ක කිරීම, ඒවායෙහි ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩි දියුණු කිරීම වැදගත් වේ.

“උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයෙන් අඩු වී ඇති අතර මිල ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම තහවුරු කිරීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාවයට සහාය වීම සඳහා අඛණ්ඩ අධීක්ෂණය කිරීමක් අවශ්‍ය වේ. පවතින ගෝලීය අවිනිශ්චිතතාවයට එරෙහිව, ශක්තිමත්ව විදේශීය සංචිත රැස් කිරීම හරහා බාහිර ආරක්ෂණ අඛණ්ඩව නැවත ගොඩ නැගීම වැදගත් වේ.

“බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතා ගිවිසුම ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතකට ගෙන යෑමේ වැදගත් සන්ධිස්ථානයකි. තීරණාත්මක මීළඟ පියවර වන්නේ, වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම, නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ ඇති ගිවිසුමට අනුව නිල ණය හිමියන් සමඟ ඇතිකරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් කිරීම සහ අනෙකුත් ගිවිසුම්වල ඇතුලත් නියමයන් ක්‍රියාත්මක කිරීමයි. මෙය ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය නැවත ස්ථාපිත කිරීමට උපකාරී වේ.

“නව රජයේ ජනවරම පාලන ප්‍රතිසංස්කරණ නැවත පණගන්වනු ඇති අතර එමගින් දූෂණ අවදානම් අවම කිරීම, ආර්ථික විශ්වාසය යළි ගොඩ නැංවීම සහ වඩාත් ශක්තිමත් සහ සැමට ප්‍රතිලාභ සැලසෙන වර්ධනයක් ළගා කර ගැනීම සිදු වනු ඇත.

“අතිගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය  ගරු ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා, සහ රජයේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජා.මූ. අරමුදලේ කණ්ඩායම සාකච්ඡා පැවැත්වීය. ජා.මූ. අරමුදලේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය.

“දූත මෙහෙය අතරතුර ලබාදුන් විශිෂ්ට සහයෝගය වෙනුවෙන් බලධාරීන්ට ස්තූති කිරීමට අපි කැමැත්තෙමු.”