මාධ්‍ය නිවේදනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සමාලෝචනයට

2025 ඔක්තෝබර් 9

යම් රටක සංචාරයකින් පසු හඳුනා ගන්නා ලද මූලික සොයා ගැනීම් පිළිබඳව ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ නිකුත් කරන මාධ්‍ය නිවේදනයන්හි ඇතුළත් වේ. මෙම ප්‍රකාශයේ අන්තර්ගත අදහස් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලයේ අදහස් වන අතර, එමගින් ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අදහස් අවශ්‍යයෙන් ම නියෝජනය නොවේ.

  • ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.
  • උද්ධමනය ඉලක්කගත මට්ටම කරා ගමන් කිරීම, සංචිත ගොඩනැගීම හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ආදායම් එක්රැස් කිරීම අපේක්ෂිත මට්ටම අභිබවා යෑමත් සමඟ, ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩව සහාය දක්වා ඇත. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය.
  • සාර්ව ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පවත්වාගෙන යෑම, සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ බාහිර කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව ලබා දීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.

කොළඹ, ශ්‍රී ලංකාව: එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වය යටතේ වූ ජා.මූ. අරමුදලේ දූත කණ්ඩායමක් 2025 වසරේ සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 9වන දින දක්වා කොළඹ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය. දූත මෙහෙවර අවසානයේ පපාජෝ(ර්)ජියෝ මහතා පහත ප්‍රකාශය නිකුත් කළේය.

“ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ජා.මූ. අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වන සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) බිලියන 2.3ක් (එ.ජ. ඩොලර් බිලියන 3ක් පමණ) 2023 මාර්තු 20 දින අනුමත කරන ලදි.

“(i) වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2026 විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමි වීම සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා මූල්‍යන සහතික සමාලෝචනය කිරීම යන කරුණු සපුරාලීම මත මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත.

“විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක් (එ.ජ.ඩොලර් මිලියන 347ක් පමණ) ලබා ගැනීමට ප්‍රවේශය හිමි වනු ඇති අතර, ඒ අනුව, මෙම පහසුකම යටතේ ජා.මූ. අරමුදල මගින් මේ දක්වා ලබාදුන් මුළු මූල්‍යන සහාය  වි.ගැ.හි. මිලියන 1,524ක් (එ.ජ.ඩොලර් බිලියන 2.04ක් පමණ) වනු ඇත.

“ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතී. 2025 වසරේ පළමු භාගයේ දී ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.8කින් වර්ධනය වී ඇති අතර 2025 වසර පුරා එම වර්ධන ප්‍රවණතාව ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය ධන අගයක් වාර්තා කර ඇති අතර  සැප්තැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මිල ගණන් සියයට 1.5කින් ඉහළ ගොස් ඇත. 2025 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 6.1ක මට්ටමට ළඟා වී ඇත. මූලික වශයෙන් මෝටර් රථ ආනයන මත පනවන බදු  හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය 2025 වසරේ පළමු භාගයේ දී ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් වී ඇත.

“රාජ්‍ය මූල්‍ය ආදායම් යහපත් මට්ටමක පැවතීම සහ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යෑම හේතුවෙන් වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් මට්ටමක පවතී. සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කර ගැනීමට සහ විදේශීය කම්පනවලට ඔරොත්තු දීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව පුළුල් කිරීමට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වේ. වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ භූ දේශපාලනික ගැටලු හේතුවෙන් ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වීමට ඇති  ඉහළ අවදානම් සැලකිල්ලට ගත් විට එය විශේෂයෙන් වැදගත් වේ. 

“2026 වසරේ අයවැය ජා.මූ. අරමුදලේ පරාමිතීන්ට අනුකූල වෙමින්, රාජ්‍ය මූල්‍ය අවකාශය අඛණ්ඩව ගොඩනැගීම සඳහා ශක්තිමත් ආදායම් ක්‍රියාමාර්ග සහ විචක්ෂණශීලී වියදම් මත පදනම් විය යුතුය. බදු අනුකූලතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ බදු සහන ලබා දීමේ රාමු ශක්තිමත් කිරීම තුළින් ආදායම් අහිමි වීමේ ගැටලු විසඳීමට අඛණ්ඩ ප්‍රයත්න අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුළුල් කිරීම, රජයේ හිඟ වියදම් නැවත උද්ගත වීම වැළැක්වීම සහ අයවැයගත මුදලට වඩා අඩුවෙන් ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ ගැටලුකාරී තත්ත්වය විසඳීම ඇතුළුව උසස් හා කාර්යක්ෂම රාජ්‍ය වියදම් ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය මූල්‍ය විනය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට දායක වනු ඇත.  

මේ අතර ම, රජය සතු ව්‍යවසායයන්ගේ මූල්‍ය ශක්‍යතාව සහතික කිරීම සහ රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වා ගෙන යෑම, රජය සතු ව්‍යවසායයන්ගේ පාලනය ශක්තිමත් කිරීම සහ එම ව්‍යවසායන්ගේ පැරණි ණය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම අවශ්‍ය වේ.  රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව, රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ප්‍රසම්පාදනය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණයට සම්බන්ධව ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත නීති, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සහ පිළිගත් ඉහළ ම භාවිතයන්ට අනුකූල විය යුතුය.

“දුගී සහ අවදානමට ලක් විය හැකි ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛ විය යුතුය. සමාජ වියදම්වල ඉලක්කකරණය, ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩි දියුණු කිරීම සඳහා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමට තවදුරටත් අවකාශය ඇත.

“දැනට සිටින නිල සහ වාණිජ ණය හිමියන් සමඟ ද්වීපාර්ශ්වික ණය ගිවිසුම් ඇතිකර ගැනීම වේගවත් කිරීම, ණය තිරසරභාවය යළි ඇති කර ගැනීමට සහ ආයෝජක විශ්වාසය ඉහළ දැමීමට අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය කඩිනම්ව ක්‍රියාකාරී කිරීම විචක්ෂණශීලී ණය කළමනාකරණ භාවිත සඳහා මූලික පියවරක් වනු ඇත.

“මුදල් ප්‍රතිපත්තිය දත්ත මත පදනම් වීම සහ මිල ස්ථායීතාව පවත්වා ගැනීම වැදගත් වේ. රජයේ අයවැය මූල්‍යකරණයෙන් වැළකී සිටීම ඇතුළුව, මහ බැංකු ස්වාධීනත්වය ආරක්ෂා වීම අඛණ්ඩව සිදු විය යුතු ය. නම්‍යශීලී විනිමය අනුපාතිකයකට ඉඩ සලසමින්, ප්‍රමාණවත් සංචිත මට්ටම් ගොඩනගා ගැනීම හරහා  බාහිර ස්වාරක්ෂක යළි ගොඩනගා ගැනීමේ ප්‍රයත්න ඉදිරියට ගෙන යා යුතුය. ණය වර්ධනයට සහාය වීම සහ මූල්‍ය අංශයේ ස්ථාවරබව ආරක්ෂා කර ගැනීම සඳහා අක්‍රීය ණය සම්බන්ධ ගැටලු විසඳීම, රාජ්‍ය බැංකුවල යහපත් පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම, සහ බුන්වත්භාවය හා නිරාකරණය සම්බන්ධ රාමු වැඩිදියුණු කිරීම වැදගත් වේ.  

“රජයේ ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති යහපත් පාලනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. ප්‍රසම්පාදන සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම, මුදල් විශුද්ධිකරණය වැළක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම ශක්තිමත් කිරීම, ඩිජිටල්කරණය ඇතුළුව ආදායම් පරිපාලනයට අදාළ දූෂණ විරෝධී පියවර සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, සහ විද්‍යුත් මාර්ගයෙන් වත්කම් ප්‍රකාශ ලබා දීම ක්‍රියාත්මක කිරීම දූෂණ අවදානම් අවම කිරීමට දායක වනු ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බඳවා ගැනීම් කඩිනම් කළ යුතු අතර, දූෂණ විරෝධී පනතට අනුකූලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු ය. ශ්‍රී ලංකාවේ විභව වර්ධනය ඉහළ දැමීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මූලික වනු ඇත.

ජා.මූ. අරමුදලේ කණ්ඩායම අතිගරු ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා, ගරු  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ගරු කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ගරු කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ  ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය. ජා.මූ. අරමුදලේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයින්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. 

“මධ්‍යම සහ ඌව පළාත්වල කළ සංචාර ඇතුළුව දූත මෙහෙය අතරතුර ලබා දුන් විශිෂ්ට සහයෝගීතාව සම්බන්ධයෙන් බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු. ශක්තිමත් සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට අපගේ ඇති කැපවීම නැවත තහවුරු කරන්නෙමු.”